Sunday, June 10, 2012

ඉතින් සොහොයුර



සොහොයුර,
පොලොවෙන් එසවුනු
පස් කණ්ඩියකට යටව
නිදා නො ඉන්න

නුඹ නාසා සිදුරු
පිරීගත් පස් බිඳිති
සරු පුසුඹ
ඉව කරන්න

යන්න බෝ මුල් අතරින්
කටු මැටි පාදම් යටින්
ගංගාධාර පස තුලින්
මේ බිමේ පස පීර පීරා

ගාලු මුවදොර
නුඹෙ සම්මාන පැලඳන්
අවු කූටකේ ඉකි ගසන
ඇවිදින නුඹෙ සොහොන් කොත වූ
වැන්දඹු ඈ යටින්
සැතපියන් මඳකට

ටිකකින් යන්න
හැරී උතුරට
නුඹෙ ලෙය සරින්
සරු වූ පස යටින් පිහිනා

දාගැබ් පාදම් යටින්
මහා වාපී බැමි තුලින්
වම් ඇලයට නිදන
මුතුන්මිත්තන් අතරින්
යන්න පිහිනා
පස යටින් උතුරට

සොයාගන්න
නුඹෙ වතවත් නොම දැක
නුඹේ ලය සිපි
උණ්ඩයේ හිමි
සොහොයුරා නිදන තැන

මදක් සැතපෙන්න ඔහු හා

මඳකින්
මුදන්න ඔහුත්
මේ නිදිගත් නිද්‍රාවෙන්

අසන්න ඔහුගෙනුත්
නුඹට වෙඩි බින්දේ
කවුරුන්ද සොහොයුර

එක්ව පිහිනා එන්න දකුණට
සොයාගෙන ඒ උණ්ඩයෙත් හිමිකරු

ඉතින් මගෙ සොහොයුර
ඔය පස් කණ්ඩිය යට
තවත් නම්
නිදා නො ඉන්න

තවත් බෝ දුර
පීනන්නට ඇත
නුඹට සහ අපට                                                                                                                                            
                                                                                                                                                                   
                                                                     

7 comments:

  1. //ගාලු මුවදොර
    නුඹෙ සම්මාන පැලඳන්
    අවු කූටකේ ඉකි ගසන
    ඇවිදින නුඹෙ සොහොන් කොත වූ
    වැන්දඹු ඈ යටින්
    සැතපියන් මඳකට//

    මේ පද පෙල කියවනකොට මතක් වුනේ අපි(මායි අයියයි නංගියි අම්මයි)රණවිරැ දිනයදා අර උසට උසේ තියන ස්මාරකය ළඟ තාත්තව සිහිකරලා මල් පොකුරු තිබ්බ හැටි.අම්මගෙ ඇස් වලින් වැටුනු කඳුළු කැට බාගෙට වේලුනු ඇන්තූරියම් මලක් උඩට වැටුනු හැටි අද වගේ මතකයි.

    //තවත් බෝ දුර
    පීනන්නට ඇත
    නුඹට සහ අපට//

    තවත් එක් තැනකදී
    හමුවෙමුද පියාණෙනි
    මා ඔබේ පුතු වී
    පියා වී ඔබ මගේ
    එදා මෙන් මා ළඟින්
    වෙන් වී නොයනු මැන
    එතැනිනුත්..

    ReplyDelete
  2. ගැලපෙනම රූපයක් තමා හොයාගෙන තියෙන්නේ

    ReplyDelete
  3. //යන්න බෝ මුල් අතරින්
    කටු මැටි පාදම් යටින්
    ගංගාධාර පස තුලින්
    මේ බිමේ පස පීර පීරා//

    මට මතක් වුණේ දීපිකා ප්‍රියදර්ශණී මහත්මියගෙ 'කාගෙ නෙතකට ගී කියන්නද' ගීතය..
    අපූරු සිතිවිල්ලක්..!

    ReplyDelete
  4. ලස්සන කවි පෙළක් ...

    ReplyDelete
  5. නියමයි..... සුපිරියි..

    ReplyDelete
  6. මම ඉතිං තෙරුම කියන් එක හරි නෑ නෙව.උඹෙංම අහගෙන

    ReplyDelete

නොතිත් සිතඹර අරා...

Related Posts Plugin for WordPress, Blogger...