Wednesday, December 19, 2012

අහස සඳ හා තරුව


අහස රෑ අඳුරේ
සඳ පුරා දුලලන සේ
එලි සිහිල යස සේ
නුඹ විදින අද දවසේ

සඳට පෙර පිපුනූ
නුඹ අහස් සිත ඇඳුනූ
රහස් පෙම් මිමිනූ
නිවි නිවී යලි දිලුනූ

හස සඳ වැළඳ
උන් අයුරු දැක මහද
තරු පැතුම් නොම පැරද
ඉමි අහස් කොන උවද

අහස් ලඳ කොමලී
සඳ උවද නෙත නොගැලී
අමාවක දවසක්
නේ යැයි සිතනු බොලඳී

නුඹ දකීදැයි නොදනී
තරු එදාටත් තිබෙතී
සඳ තරම් එලි නැතිදූ
තරු සදාකල් පවතී


Friday, December 14, 2012

ත්‍රිමා













ඉදින් නුඹ ගිය මග
ඇවිරුණා උස තණපත්
යා නොහෙන තරමට
මග අතිර වන විලසට

නැවී ගිය තෘණපත්
හිස යොමන අයුරට
තිබිය යුතු ඒ මග තව
කියා ඔවදන් දෙන මෙනි

සොහෝයුර ඉනු මැන
අපේ සෙවනැලි ඉද්දර
නුඹ පියෙන් ඉපැදුනු
පියුම් පිට අප රැගෙන යන්නට




Thursday, December 13, 2012

අතරමඟදි



පෙර දොඩමලු උන කොරිඩෝ පෙත්වල
ඉඳහිට අප මුණ ගැහෙනු ඇතී
ඈතින් දුටුවන දෑස බිමට බර
නුඹ මා පසුකර ඇදෙනු ඇතී
අපේ ලෝකවල අපි රජ උන මුත්
ඒ මොහොතේ හිත් එකට හැපී
මතකයෙ ගිනිගල් එකිනෙක ඇතිලී
සිහින පුපුරු ගිනි නැගෙනු ඇතී





Monday, November 19, 2012

සදිසි



සිදු සදිසි
නුබ සදිසි
පර්යාය පද කුමට...

නුඹ සදිසි
සෙනෙහසක්
තිබියදී මගෙ ලොවට...



Saturday, November 3, 2012





අප කී දේද කල දේද
සිතා උන් හැමදේද
අකුරක් නෑර ලියවෙන
පොතක් තිබෙනා යැයි
නොදැන මෙපමණ කලක් උන්නෙද

ඒ ලොග් පොත තියෙන
තෙත ගල් ගුහාවට
අද මට 
යන්න ලැබුනා අහම්බෙන් මෙන

අසල්වැසි ජීවිත කතාවල
අමුතු තැන් මගෙ වගෙම තිබුනා
දවස ගෙවුනා අඳුර වැටුනා
ගොම්මනේ අන්තිම එළිය බිඳ
උදව්වෙන් මගෙ පිටුව මැකුවා

හ හා හිතුවද ඔබත් යන්නට
මගේ අඩි සලකුණුත් මැකුවා 





Friday, November 2, 2012

මායා මැතිනිය


මායා මැතිනියෙනි
බොන්සායි කල මැන
මාවත්
මේ කඳු අතර
හැමදාමත් වහින
දිය ගලන
දෙණි අතර
කාලය දියව
සමබිමේ ගලන අපූරුව
පිල්ලමකුදු නොහෙලා
බලා හිඳින්නට



පිටපත මගෙ නොවේ



බලා ඉන්නට නැතිමුත්
ප්‍රේක්ෂක කැළතක්
නොනැවතී රඟමි මම්
වළාකුළුවලටත් ඉහලින්
ගැලරියේ පුටු
හිස් නැතය අනුමානයෙන්





Saturday, October 20, 2012

කොළඹ අහසට

















සාපදී ඇතිමුත්
අතොරක් නැතිව
දුෂ්ටිය යැයි
පලමු මහලේ සිට

දුටිමි නුඹත්
පැලඳ උන් කඳු මිණි මෙවුළ
සත්වැනි මහලට
පිළිපන් සඳ

අපරිමිත නුඹ
බෙදා වෙන්කල
මෝහයට තව
සාප දුනි මම



Sunday, October 14, 2012

වණ්ණුපථ








වඩිනාගල හිට වැඩියා අපෙ ගමට 
ඉටි මල්ලයි සිවුරයි තිබ්බා කරට
බන්ට් එක ලඟ කැලේ බෝගහ මුල අවට
අටවා පුංචි පැල දම් දෙසුවා අපට

මතක බණේ දානෙදි තනි කලේ නැතී
අසනීපයකදී නම් වැරදුනේ නැතී
වන මැද ගංකරේ කාටත් පිහිට වෙවී
කාගෙත් ගෙදර බුදු වී උනි සුමන හිමී

නියඟෙට කරවුනා මුලු විල්පත්තුවම
පුංචි දිවුලෑව හිඳුනා පතුලටම
තිබාසේට ගිනිකණ වැටිලා ගමම
දියහෑරුවා සිහි එලවුනු හැම තැනම

බෝසත් සිතින් ලීවත් ඩීආරෝට
ලොකු නල ලිඳක් දෙන්නැයි මේ ගංගොඩට
ලක්සම දෙක තුනක් යනවා මේ ලිඳට
සලකා බලමි ලිපියක් ලැබුනා ගමට

දවසක් උදේ ආවාසේ සාදු නැත
බට ලානක් වගේ ගම ගිනිගත්තේය
සති දෙකතුනක් හෙව්වත් නැහැ හම්බ උනේ
හරියට කරපොලව යටටම ඉරුව වගේ

හඳවල් දෙකක් පහු උනදා හැන්දෑවේ
අපෙ පොඩි සාදු ගම ආවා පෙර වාගේ
කඩිසර අඩි ගමන් දැන් නම් නැහැ වාගේ
ලක්සෙට කොඩිය ලෙල දුන්නලු ආවාසේ

ලොතරැයියක්ලු සමහරු කුටු කුටු ගෑවා
බැංකුව බින්දාද තව අය ඇහැ ලෑවා
ජල යෝජනා කරමෙට මුල්ගල තීවා
මාසෙන් දෙකෙන් හේ වැඩ අහවර වූවා

ටැංකිය පුරවාපු දවසේ පිරිත මැද
වඩිනාගල සුමන වැටුනා සෙනග මැද
තබ්බෝවට හනික ගෙනියන අතරමග
අපවත් උනා උස්සන් ගිය පුටුව පිට

කොර්නෙල් මරණෙ හේතුව මොකදෝ හෙව්වා
ලේ කැටි කැටි පිරී පිම්ඹුනු බඩ පෑවා
කලියෙන් එන්න තිබ්බා නෙව දොස් කීවා
වම් වකුගඩුව නම් දැක්කේ නෑ   කීවා

අද ගම හැමෝගෙම අත ලඟ වතුර ඇත
මේ බැව් මතක උන් එකෙකුදු මෙගම නැත
වැඩ හිටි ආවාසෙ මැටි පස් ගොඩැලි මත
ඊතණ පඳුරු එක දෙක නම් වැවී ඇත



Friday, October 12, 2012

බලා සැනසෙන්නට







සොඳුර
දැන් ගෙට ගන්න
මම නුඹට අව්වේ වේලන්නට කියා දුන්
හම ගසාලූ
මගේ හෘද සාක්ෂිය

තව ටිකකින්
ඔවුන් මෙහි එන්නට පෙර
පුලුන් පුරවා
දිස්නෙ ගල්වා
සාලයේ කනප්පුව මත
තබාලමු අපි
යන එන්නන්ට තුටු පහටුව
අතගා බලා
සැනසී පිටවනු පිණිස






Thursday, October 11, 2012

විල් මනාලිය















නාඹර විල් තෙර අසබඩ
දිලිසෙන හිම කැට අවුලන
බිරියෝසා යුවතී
නුඹෙ නීල පෑ දෙතොල් හස මුසු
කියත් පවත් යළිඳු සරත්
නේන ඉඟි මට







Wednesday, October 10, 2012

අවසන් වැසි සමය















මතකද නුඹ පෙරදා කීවා මගෙ ගී මිහිරි වග
නුඹ නොදනී තාමත් ඒ හදවත පෙම් කලෙ නුඹට වග
කඳු අගිසි සිප... ළිහිණි පිළ මත...
එතේ වැහි සළු...මේ උයන් වට...
යමු අපි තුරුපත් තුරුල සොයා

හිරු මියැදී ගිලෙනා කඳු අතරේ  අප තනි කර ඇදෙනා
රැය සීතල වැස්සෙන් පිරෙනා වග අසරණ හිරු දන්නා
තරු සිඟිති පිපී...රැය සිහිල මැකී...
වැහි අඳුර ඉරී...නුඹ සිහින පිරී...
එනමුදු හෙට රිවි නැගෙනු නැතී

මතකය කල්පයකී...හීන අසුරු සැනෙකී...
නුඹේ සිතැඟි සරනා...සොඳුරු අරණ දුරකී...
හද වැලි තලයේ පෙම් දලු නැගෙතත්
නිරුදක මරුය හිමී...

මේ අවසන් වැසි සමයයි... දනී ළිහිණි කුමරී
ඈ මුරගා හඬ තලනා... ගීය අසනු රිසිනී
වැහි බිඳු ඉහිළී අප වත් සිප සිප
යායුතු අද වියැලී...

Saturday, September 22, 2012

ලෙඩුන් බලන වේලාව







ඒ පැය තුලදී
ඈ දෑස් නම් නොහැරවූවාය

වැරදිලාවත් හැරුනොතින්
සිරගත උනු ඉරියව්වට වහාම ආවාය

ඒ සිහින දවස එන තුරු
මහලු ඇඟිලි ගැන්නාය

වහින්නටවත් හිතක් නැති
කොළඹ අහසට දොස් කීවාය

එදාට අඬන්නට
කඳුලු අරපරෙස්සම් කලාය

තුන් වරුවේම දෑහට වද දෙන්නට
එන උනට වෙර බැන්දාය
බොරුවට ලෙඩ ගන්න
අනික් උන්ටත් බැන්නාය

තුන් මසක් මුලුල්ලේ
බලන්නට නො ආ පුතුට වෙර නොබැන්දාය

හැමදාමත්
හෙට නම් ආ යුත්තේ යැයි
ස්වයං නිශ්චයේ යෙදුනාය

ප.ලි. කපුටන්ටත් වවුල්ලුන්ටත්
       මේ කිසිවක වගක්වත් නොවීය
       රෑ බෝවත්ම
       වෙනදා මෙන්ම 
       අහස මදි බව නම් තේරුම් ගත්තෝය




                                 

Wednesday, September 12, 2012

ඕඩි වා


ඉරිමාවෙ දාවලේ
හීන හිත හූරත්ම
සවනොත්ය
" ඕඩි වා ඕඩි වා 
  ඔරු ආමේ...
  ඕඩිවා "
කිළිටි කකුල්, උකුසු දෑස්
නොඉඳුල් සොටුයෙන
සැරහූ පුටැති නාසා

කුණු කානු දියේ
කලතා අම සොයන විලස
රූරා බැසි මෑලි දියෙන
උණපත් පල්වූ දුගඳින
මත්වූ ඉදිබු සේයා..
බොඳවීය 
කොලුන කෝටු සරින

පිච්චෙන්නට වන ලපැත්ත
මැවී මැවී
කටුවට ඇලි ලේ වැකි මස...
දැනුනු සෙයකි
පුලුටු සුවඳ

ගල ඉද්දර සෙවන සොයා
තැත සැඟවී යන්ට නොදී
" පලයව් පලයව් අහකට
  අහකට
  තිරිසන් කොල්ලනේ
  ඕක මරන් කන්නෙ නැතුව "

හළ කෙවිටි දිවූ මග කියද්දී
හැරී බලමින
නෙත බයාදුව
ඉදිබු රූ තරු පිරි පිටින
සෙමින යොමා හිස
පිදූ තුති සුසුම...

නුවර කුනු කඳින් සෙවුනා
අහර පතට පැලලි කුසට
හැරුනු උන් නෙත් නොකී වත
නුදුටු අඳ මනෙත

ඉබ්බෝ උඹ ගැලවුනාට
කොලනියෙ කලුවර මැදුරේ පිල මත
සුදහ ගින්න උන් ගිල්ලොත්
ගැලවිල්ලක් තියේද මට ...?




Monday, September 3, 2012

වැහි




කඳු අග්ගිස්සෙන් පාව ආපු වැහි සරයක් ඇද හැලුනී
යුවතිය තව තව කිටි කිටියේ ඔහු තුරුලට වී වැදුනී
කෝඩය තද වෙද්දී ඇය සඟවා ඔහු වෙනතක ඇදුනී
වැස්සෙන් හංගා රැක්මට නුඹ නැති මම කුමකට දුවමී




Monday, August 20, 2012

මිනිස්සු



මාර ගස් පතර පැතිරී
හැඳෑ අව් රැළී...
තෙමාලනු රිසින නෙක හිස්
කරයි විමසිලී...

පියාලූ වෙහෙසැති තටුබරින
මුදාලූ සරතැස් වසුරින
සක්මන් මළුවේ රටා වියන
කපුටනී බලාපව් පහල

වළාකුළු බැම්මේ වාරු පිට දී
පොරි කරත්තේ පිස හමායන
නල අඹාලන රූම් පෙතිවල
හීන ඔතරම්ම හෙමිහෙමිහිට
කැරකෙන සන්සුන් විලාසෙට
බවුන් වැඩෙනවාද නුඹට

මරාලමින කල්
සෝ දුම්ගුලි මුදමින
අතටම පිච්චෙන දුම්වැටි කොටයටත්
දුකම හිතිලා
ඇහැරෙව්වාය හැඳෑ හීනෙන්

දැවී හළුවෙන ජීවිතේ
ගසාලාලයි වළා බැමි පුවරුවේ

සිපියි දිවි සුණු
නුවර වෑ තල
පොරිය හිතමින
දේය් බැට උන

"කොරළිනේ...
 අතෑරල ඔය දුක
 හොයාපිය නට නටා
 තුටැති මිනිසත් කඳුලු
 උරනු වෑ දියෙන්
 හස් තුඩු මුවින ..."

සුමට වන්නට
ජීවන රේඛාවක් තියා
වම් අල්ලක්වත්
නොමැති ඔහු.....



Sunday, August 19, 2012

උහු ප්‍රතාපවත්ය



වයර පරිපථ කබා ඇඟලා
හෙණ්ඩු කැලලිද වැසෙනා
ජංගම තොරණ් රජිඳා
සන්නිපාත දන මැදිනා
තෙදවත්ව පා තබනා

විලංගුව සිහි ලිහුනා
දිගු අඩිම පා තියනා
එකෙණෙහිම පා සිරවී
ප්‍රතාපවත් කෙටි අඩිම තැබෙනා

තිරස් බඩ සිවු පයට නොහෙනා
බුදුරැස් පිටෙන් විදුනා
ධාතු පිට නැගි පවින් හෙවුනා
සංවරව පා නැගුනා

තුන් සීලයට ඔබිනා
ගජනා නුඹේ කයිනා
හිත උනන සුසුමා
සහස් බැති නෙත් එබැව් නොම දකිනා

බුදු මග නොයන උනටා
බුදුරැස් හිසට ඕනා
පසඳමින සව් අෂ්ට ලෝ දම්
එරැස් අඳිනට තැවෙමින 
රැයේ කෙටි අඩි තබනා



Sunday, August 12, 2012

ගංගා කළණී




නොගලා එක තැන ලතැවෙන ගංගා කළණී
එගං දිගේ සළු හොවමින ඈ මුමුණන්නී
රෙදි වැල් සිතිජයට එහා ඉර සැඟවෙන්නී
නුබ කුස පඬු පෑ උරමින වියපත්වන්නී

කැළණිතිස්ස වාගෙම හිත ගිනි හංගන්නී
ගිනි මැඩ දුම්ගුලි සුසුමින් වළා තනන්නී
අන් සෙළුවට සුදු පිරුවට නම්බු පුදන්නී
පවු හෝදා  දිය කලතා තවම පෙඟෙන්නී


Sunday, August 5, 2012

සිතිවිලි



















සිතිවිලි කොනෙන් හිල් විද
අමුණන්න
කම්මැලිය මට....
කඳුවලින් ඉපදුනු
කදුරු පත්ලෙන් හම්බුනු
අසම්පූර්ණව සුමට
රවුම් බර පැදියක්
අතට අහුවුනු සිතිවිලි එක දෙකක් මත
තබාලමි මම...
ඒ කඳු සුලඟට
ජනේලය නොවසාම



Saturday, July 21, 2012

රෝස සහ දාස්පෙතියා




















කන්ද මුදුනේ
හරිතගාරේ
පිපෙනවා රෝස...



කොළඹ යන්නට
ලොරිය එනතුරු
නිදනවා රෝස...


අනඟ රැඟුමට
පෙරව යහනත
සිඹිනවා රෝස...


කන්ද පාමුල
ලැයිම මානේ
පිපෙනවා දාස...


දලු අකුල් යට
මැකෙන තිලකය
දකිනවා දාස...


පෝර, දහදිය
කඳුලු අතරේ
පාවුනා දාස...





Friday, July 20, 2012

පෙකනි වැල



















කල්පයක මුල් වසර
පුතු ගැබෙහි නිදි කරන


මස පලා එලි දකින
සිහිනයට කිරි පොවන


වින්නඹුව පෙකනි වැල
කැපූ බව නොම හැඳින


කලල දිය පිරි බැලුම
තවම පුතු වට රකින

පෙකනි වැල දිග දුරට
ඇමතුමෙන් සුව පතන


මේ කිසිත් නම් නොදැන
ඒ රැහැන නැති තුටින


දියත යම් කොන වසන
ඔහු නමට හැම දිනම


යළි යළිඳු පිළිසිඳින
කිරි බිඳිති ලය උනන





Thursday, July 19, 2012

කොට්ට කිලංගු



කඳේ හිල් තුලින
දෑස් මානා සතුටින
එය වසා තවත් බදාම හැන්දකින

පාග ගත් පය
එහෙම්මම තව
තනි පියල්ලේ දලු
දවසක ආයෙ
බට්ටො වෙන බව දැන දැන




Wednesday, June 27, 2012

යා යුතු





මේ
අයස්කාන්ත තත්පර කිහිපය පමණක්
නිදන නුඹ දෙස බලමි...

වැහි වලාවක බිජුවටවත්
තවමත්
ගොවිබිම් කම්හල් උඩින් නොමැත

සොඳුර නොනැගිටින්න
ජීවමානවම
මසිත් පහණේ
සිත්තම් වන තුරුවත් හිඳින්න

මා
යළි නො එන නිසා නොව
නුඹ නොසිටිය යුතු නිසා
එපමණක්වත්
ගෙනයන්නට ඉඩ දෙන්න

ඉරත් වැහිත් ඇති සරුබිමට
යා යුතුය
අඳුරට පෙර
මානා ලඳු පීරා
මං තැනිය යුත්තේය
නුඹටත් හැමටත්
නිදුකින්
පා ඔසවන්නට

මතු හැම උදාවේම
පානා ඉර මැද
නුඹේ වත මවා ගමි
එ ඉරු පහනින්
දිරි උරා බොමි

හැපී විසුලත්
පෙණ පිඬව මා
නුඹ මතින්
ඒ බිඳිති
පියවර සුඟක ඔබ්බේ
නැවත දිය කදුරමය
එතෙක්වත්
නොනැගිටින්න
මසිත් පහණේ
සිත්තම් වනතුරු නිදන්න                                                                                                                              
                                                                                                                                                                   
                                                                                                                                                                 

Sunday, June 10, 2012

ඉතින් සොහොයුර



සොහොයුර,
පොලොවෙන් එසවුනු
පස් කණ්ඩියකට යටව
නිදා නො ඉන්න

නුඹ නාසා සිදුරු
පිරීගත් පස් බිඳිති
සරු පුසුඹ
ඉව කරන්න

යන්න බෝ මුල් අතරින්
කටු මැටි පාදම් යටින්
ගංගාධාර පස තුලින්
මේ බිමේ පස පීර පීරා

ගාලු මුවදොර
නුඹෙ සම්මාන පැලඳන්
අවු කූටකේ ඉකි ගසන
ඇවිදින නුඹෙ සොහොන් කොත වූ
වැන්දඹු ඈ යටින්
සැතපියන් මඳකට

ටිකකින් යන්න
හැරී උතුරට
නුඹෙ ලෙය සරින්
සරු වූ පස යටින් පිහිනා

දාගැබ් පාදම් යටින්
මහා වාපී බැමි තුලින්
වම් ඇලයට නිදන
මුතුන්මිත්තන් අතරින්
යන්න පිහිනා
පස යටින් උතුරට

සොයාගන්න
නුඹෙ වතවත් නොම දැක
නුඹේ ලය සිපි
උණ්ඩයේ හිමි
සොහොයුරා නිදන තැන

මදක් සැතපෙන්න ඔහු හා

මඳකින්
මුදන්න ඔහුත්
මේ නිදිගත් නිද්‍රාවෙන්

අසන්න ඔහුගෙනුත්
නුඹට වෙඩි බින්දේ
කවුරුන්ද සොහොයුර

එක්ව පිහිනා එන්න දකුණට
සොයාගෙන ඒ උණ්ඩයෙත් හිමිකරු

ඉතින් මගෙ සොහොයුර
ඔය පස් කණ්ඩිය යට
තවත් නම්
නිදා නො ඉන්න

තවත් බෝ දුර
පීනන්නට ඇත
නුඹට සහ අපට                                                                                                                                            
                                                                                                                                                                   
                                                                     

Monday, June 4, 2012

පිතු පාරමිතා



තටු අග බල්බයක් රැඳි
කුරුලු පියෙකි බසයේ මුල...


මැදිරිගිරියේ
වනේ බෙනයක
ඉන්න පැටවුන්
ගැන කියයි තව


හීලියම් හරි බරට පිට උන
බල්බය
බිඳියි තටු මත...


අසරණ සිනා සලමින
තලයි වීදුරු කටු
ගලනාලයට ගැලපෙන ලෙස


අයා මුව
විකා කටු කුඩු
ගිලින්නට පෙර
යදී රුපියල්


හුණට දහයේ කොල ගෙන
ගිලී  සපමින
දන මුව බියෙන් අයවන...


උගුරෙන් පහල
බඩටත් මදක් ඉහලින
තැනක් ඇතුවා මෙන
රුපියලුත් වීදුරුත් හාවෙන...


දහඩිය ලේ කෙලද
අනා 'සෙරිලැක් ' තනා තලි තලි
තදකර උගුර මැද
පියාඹාවී මැදිරිගිරියට


දමා බිලයෙන් හිස
මග බලන පොඩි හොටකට
වමාරා කැවු තලපේ
අනේ වීදුරු කටු නොවීයං


සපුගස්කන්ද ගිනි හුළ
උඩින් පියඹා මැදිරිගිරියට
යනු රිසි කුරුලු පිය
කවුළුවෙන් ඒ දෙසම බලමින


                                                                                           
                                                                                                       
                                         


                                                                               
             

Saturday, May 5, 2012

මැයි දෙවෙනිදා


අවුරුද්දට එකම දවස
අල්මාරියෙ කොනක පිපෙන
කපුරු බෝල සුවඳ පොවපු
අත්කොට කමිසේ...

පාණ්ඩු පෑ රතු පාටට
රතු කියන්න බැරි තරමට
අව් සැරේට වැහි පොදේට
දියවෙලා ගියේ...

අප්පච්චී උදේ රැයින්
පොල් කටු ගින්නේ පළහං
නැමි රාසිය එක දෙකකට
අඩුකර ගනිතේ...

අලුත් කමිස රැලට යටින්
හැමදාමත් එක දවසක්
එළඹෙනකං අවුරුද්දක්
බලාන ඉන්නේ...

උදේ රැයිං රේල්ලුවෙං
කැන්දං ගිය අප්පච්චී
ගෙට ගෙවදින තුරු ඉඳපං
නිර්ධන කමිසේ...

එක දවසේ පංති හටන
පහුවදාම පාවාදුන්
ජුදාස් එනකං නේ 
උඹ බලාන ඉන්නේ...

දිය බේරෙන වැලේ කොනක
කණ කැස්බෑ ඉර එළියෙන්
අද විතරක් සැනහීයං
අත් කොට කමිසේ...


Sunday, April 15, 2012

පින් මද මවු



මල්ලි නොවී උඹෙ අක්කල තුන්පොලට
යන්ට උනේ පස් මහ බැලුමේ පවට
උඹේ පයට පූදින්නට පියුම් නැතී
ආවේ මොකද අම්මට පවු පුරවන්ට


දවස් කුලිය ලෙවකන්නට මදිගානේ
බීගත් අප්පාට ගානක් නෑ වාගේ
හූරල නොදා උඹ ඇඬුවොත් මේ වාරේ
වලට තුන්වලක් සිකුරුයි එන වාරේ


කකුල් පල්ලෙ උඹ බේරුනු ඒ ජාමේ
මුලු හිත පැලී හිරිවැටුනා සියවාරේ
දෙතනගලම කිරි තදකර ඇඬුවාවේ
හිරිකටු ඔය දිගට මයෙ දුක පිපුනාවේ
                                                                                            
                                                                                                     
                                                                                           
                                      

Saturday, April 14, 2012

අවුරුද්දේ ස්තුති කතාව




හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා...!ඉතින් මොන විදියටද මේක ලෝකයාට කියන්නෙ කියල කල්පනා කරා.පොර සෙයියාවෙන්ද? එහෙම නැත්තං අහිංසක පුංචි ආඩම්බරෙන්ද අනේ මන්ද අන්තිමට විදියක් හිතාගන්න බැරි උන හින්ද එහෙම් පිටින්ම කියල දාන්න හිතුව.මේකයි ...!
මේ බ්ලොග් පිටුව පටන් අරන් හෙටට අවුරුද්දක් පිරෙනව.
මේ තියෙන්න මම පලවෙනියටම දාපු පෝස්ට් එක.
ඉතින් මේ වෙලාවෙ මතක් කරන්න ඕනෙ කීප දෙනෙක්ම ඉන්නව විශේෂයෙන්.ඒ අයට ස්තුති කරන්නයි විශේෂයෙන් මේක දාන්න හිතුවෙ.මුලින්ම මම ආදරයෙන් මතක් කරනව ලහිරුව ඒ කියන්නෙ මාවම.මොකද වැඩක් පටන් අරන් අවුරුද්දක් තිස්සෙ අතරින් පතර උනත් නවත්තන් නැතුව කරන් යන්න තරම් ධෛර්යයක් මට තිබ්බ එක ගැන මම හුඟක් සන්තෝස වෙනවා.ඒකම මට හුඟක් වටිනව.ඊලඟට තමයි වැදගත්ම කෙනා.එයා තමයි මට  ඉරණමෙන්ම හම්බෙලා තියෙන සෝදුපත් බලන්නිය.හැම කවියක්ම ලිපියක්ම මුලින්ම දකින්නෙ එයා.මේක හරි නැහැ,මේක චාටර්,මේක නං ටිකක් ෂේප් කියල මාව නිතරම දිරිගන්වන්න ඇය තමා.එයාට මගේ ලබැඳි ප්‍රණාමය.ඊලඟට පිලිවෙලේ හැටියට නම් පණ්ඩිත්.මේ දවස්වල මාත් එක්ක තරහ උනාට මුලින්ම බ්ලොග් හදන්නෙ කොහොමද කියල ඇහුවම බ්ලොග්ස්පොට්.කොම් පැත්තෙ ගිහින් බලපං කිව්වෙ පණ්ඩිත්.එහෙම ගිහිල්ල ඔහේ ඊලඟ පියවරවලට ගියාම මම දන්නෙමත් නැතුව බ්ලොග් එක හැදුන.මුලින්ම ඩිෆෝල්ට් හැදුන ඩිසයින් එක මාස ගානකට පස්සෙ මාරු කරෙත් පණ්ඩිත්මද කොහෙද.
ඊලඟට මම මුහුණ පාපු දුෂ්කරතාවය තමා අනික් හැමෝගෙම බ්ලොග්වල තියෙන විජෙට්ටු මගේ එකටත් දාගන්නෙ කොහොමද කියල.හැම එකටම පණ්ඩිත්ටම කරදර කරන්න බැරි හින්ද තනියම ඒව දාගන්න සෑහෙන ට්‍රයි කරා.ගූගල් වලින් වැඩ දාල උනත් අන්තිමට දැන් තියෙන ඔක්කොම දාගන්න බැරි උනා.ඒ වෙලාවෙ ලැජ්ජාව පැත්තක තියල ප්‍රාර්ථනා නංගිගෙනුයි අසංක අයියගෙනුයි ඒව දාන්නෙ  කොහොමද කියල අහගත්ත.
මම ලියපුව හුඟ කෙනෙකුට තේරෙන් නෑ කියන ප්‍රශ්නය ඉස්කෝලෙ කාලෙ ඉඳන්ම තියෙන එකක්.බ්ලොග් එකටත් ඒකෙ වෙනසක් උන් නෑ.ඒකට හොඳම උදාහරණ තම මේ පෝස්ට් කීපය.
ඒකට හේතුව තමයි දෙන්න හදන පණිවිඩේ කවිය හරි කතාව ඇතුලෙ හරි හංගල කියාගන්න ගියාම අන්තිමට ඒක මටවත් හොයාගන්න  බැරි විදියට හැංගිලාම යන එක.මගේ සමීක්ෂණ වාර්තා වලට අනුව වැඩිපුරම බ්ලොග් එක ලියවිලා තියෙන්නෙ එක්සෑම් ස්ටඩි ලීව් කාලවල.වැඩක් හරියට නැති කාලවල ලියවෙන්නෙ ඉඳහිට තමා.ඉතින් බ්ලොග් එකටත් මම ස්තූතිවන්ත වෙනව එක්සෑම් කාලෙට මගෙ විවේකය ගතකරන්න දඩ මීමා වෙනවට.
බ්ලොග් එකට කමෙන්ට් කරල දිරිගන්වන හැමදෙනාටමත් ස්තූතියි.  ෆැකල්ටියෙදි හම්බෙලා අදහස් යෝජනා දෙන හැමදෙනාටමත් ස්තූතියි.මේක මුලින්ම පටන් ගත්තෙ හිතෙන දේවල් කවිවලට හරවල ඉදිරිපත් කරන්න.ඒත් පස්සෙ මම යන යන තැන්වල විස්තර දාන්නත් මට හිතුන.ඉස්සරහට තව මොන මොනව දාන්න හිතෙයිද දන් නැහැ.සියලු දේ අනිත්‍යයි කියනවනේ.තව පොඩි දෙයක් බ්ලොග් එක පටන් ගත්ත මුල් කාලෙ නලිනි චන්දිමා අක්ක ඇතුලු හුඟාක් දෙනා සතුටු හිතෙන විදිහේ අදහස් දක්වලා තිබ්බා.ලත් තැන ලොප් නොවී මෙච්චර දුරටවත් මේක කරන් එන්න ඒක මුල්දවස්වල ලොකු හයියක් වුනා.
අවසාන වශයෙන් මගේ මනස්ගාතවලට මහන්සියෙන් හරිහම්බු කරගත්ත සල්ලිවලින් ලැප් එක අරන් දීපු පොඩි මම්මවයි ඩොංගල් එකේ බිල ගෙවන්න තරං කාරුණික වෙන අම්මවයි අප්පච්චිවයි ඒ වගේම හුඟක් වෙලාවට ඩොංගල් එක ඉවර උනාම මගේ සහයට ඉන්න ෆැකල්ටියෙ වයිෆයි එකයිත් හොස්ටල් එකේ වයිෆයි එකයිත් ආදරයෙන් සිහිපත් කරනව. ඉතින් මේ පෝස්ට් එක දාන හිතුවෙ මගේ සෝදුපත් බලන්නිය ඇරෙන්න කවුරුවත් මේ විස්තරේ දන්නෙ නැති හින්දයි.ඒ මොකද අනිත් මිනිස්සුන්ට වෙන වැඩ නැතුවය මගේ පලවෙනි පෝස්ට් එකේ ඉඳන් දින ගැන ගැන ඉන්න.
හරි...! එහෙනන් මට වැරදුන් නැත්තං ස්තුති කරන්න හිතන් හිටපු හැමෝටම ස්තුති කරා.ඉතින් අනේ කාව හරි අමතක උනානං මම දෙවෙනි ඇනිවසරියෙදි ස්තුති කරන්නම්කො.

 ඉතින් ඔන්න ආයෙත් කියනව පුලු පුලුවන් වෙලාවට ඉතින් මේ දිහාවෙදි හම්බෙමුකො.හැමෝටම ප්‍රීතිමත් නව වසරක් වේවා                                                                                  
                                                                                           
                                                                                       
                                 

Tuesday, April 3, 2012

කොටුගොඩැල්ල වීදිය



කොහෙක් අඬනවා කච්චේරිය ලඟ මාර ගහේ ඉඳලා
"නුවරම පාලුයි නුවරම පාලුයි අවුරුදු ආ හින්දා "
එහෙමද කිව්වේ එහෙමද ඇහුනේ හිත මැසිවිලි නැගුවා
අවුරු කුමරා ගමේ ගිහිල්ලා නුවර ටවුම දාලා


දාහක් ගැවසුනු දාහක් හමුවුනු හරස් වීදි මත්තේ
කපුටන් හමුවී පෙම්බස් දෙඩුවා උන්ගේ හිතුමත්තේ
කන් තිබුනාදැයි හිතුනුවාර ඇති එවන් දවස් ඇත්තේ
උන්ගෙ වසුරු බිම සිඹින හඟින සර පවා ඇසුනි සත්තේ


මැදදි පහත් උනු අගදී ඉස්සුනු ඈත වීදි ඉවුරේ
අයිනට එබෙමින් කුණු අවුලාලන කතක රුවකි දුටුවේ
පහන් කණුවකට වෙරදී මිනිසෙක් යමක් බිණිනු ඇසුනේ
නෑසූ සවනින් තවත් එකෙක් ඈ දෑස් කතා ඇසුවේ


පසුකර යන මා ගැන නැත නිවනක් උන් තිදෙනා මතකේ
"දරුවා මගේද උගේද කියපං මගේ දිහා බලලා "
මදි බව පෙනුනත් ඇඳුම අලුත් බව දැනුනා ඒ මොහොතේ
ඈ නිහඬයි කොටුගොඩැල්ල වීදියෙ පහන් ටැඹක් වාගේ


අවුරුදු එනවා අවුරුදු යනවා නගරය, ගම පැත්තේ
කපුටන් ඉගිලෙනවා හැමදාමත් අහස මදිව වාගේ
ජීවිත පුදුමයි මේ පුර වරුණා දහස් කතා ඇත්තේ
ඒවා අහන්න සවන් නැතුව නොව නෑසුකනිනි උන්නේ
                                                                                          
                                                                                        
                                                                                              
                                                                                              

Tuesday, March 27, 2012

පායනතුරු





                                                                                                       
                                                                                                                
                                                                                          
                                                                                          
                                                                                         
                                                                                      
                                                                                

Saturday, March 24, 2012

අලු සෙනසුරාදා


කාමරේ මකුලු දැල
වියපු මකුලුවො නැතී...
දැලි බැඳී
පංකාවෙ තාලයට
හරි හෙමින් හෙලවෙතී...

ගෙට වෙච්චි ඉර කෙලී
ඉඟි පානයුරු දැනී..
පරවි වා කවුලු මත
පුස් බැඳුනු තටු ගසා
පියාඹනු සැරහෙතී...

සඳලු මත ගුලි වෙවී
තවම මං නං නිදී...                                                                              
                                                                                               
                                                                               

Monday, March 19, 2012

වි(රහ)රාජිනී




මා මතින් මා නොසෙවු
පුරුෂයෙනි මේ අසවු
රමණයට මා කුමට
රති කරනු කැඩපතට                                                                                                                                               
             
                                                                                                                                            

Sunday, March 18, 2012

කුමරි පැන්න ගල


මේ ගමන කියන්න යන්නෙ යන්නෙ බලන්න ගියපු තවත් තැනක් ගැන.අපේ බැච් එකේ නං බහුතරයක් දෙනා මේ තැනට ගිහින් තියෙනව.මෙතනට ළඟාවෙන්න පුලුවන් හොරණ ඉඳන් 420 බස් පාරෙ කලුතරට යන අතරමග.හොරණ මතුගම බස් එකෙනුත් ලඟා වෙන්න පුලුවන්.




රෙමුණට එන පාර

බස් පාර ආසන්නයෙම වගේ රෙමුණ හරියෙදි දකුණු පැත්තෙන් වංගුවකුත් සමගම මේ පර්වතය මුණ ගැහෙනව.ඒ හරියටම කලුතර මතුගම පාරවල් බෙදෙන්න ටිකකට කලින්.

1;50,000 සිතියමේ කියන විදියට නම් මුදුන මීටර් 150ක් වගේ උසකින් තමා පිහිටල තියෙන්නෙ.උසින් නම් එතරම් වැදගත්කමක් නැති උනාට අතීත ජනශ්‍රැති ආශ්‍රිත කතා අතින් නම් මේ පුංචි පර්වත මුදුන ඉහල වැදගත්කමක් උසුලනව.ඒ විස්තරේ පසුවට තියල ගමන ගියපු හැටි කියන්නංකො.







ඇස ගිය තැන්






බෝවිටියා මලක මෙලෙක





රබර් කට්ටිය හරහා




ගමන පටන් ගත්තෙ අපේ සගය ජයනෙත්ති එහෙම නැත්තන් ජයේගෙ ගෙදරින්.උදේ ආහාර වේලෙන් සප්පායම් වෙලා අපි ගමන පටන් ගත්ත.කන්ද පාමුලම වගේ තමා ජයේලගෙ ගෙවල් පිහිටල තියෙන්නෙ.ගේ පිටිපස්සෙ ජයේලගෙ වත්ත මායිමෙන් අපි ගමන පටන් ගත්ත.නැග්මක් කියල අසීරු ගමනක් නම් නෙවෙයි ඒක.රබර් වත්ත මැදින්,වල් ගාල් මැදින් වගේම තරමක කැලෑ කුට්ටිත් නොතිබුනා නෙවෙයි.අතරමග කූඩැල්ලොන්ට බයේ නැවතුනේ නැත්තං විනාඩි විස්සෙන් මුදුනටම යතහැකි.ජයේගෙ මග පෙන්වීම ඔස්සෙ ටික වෙලාවක් යනකොට අපි ටික මුදුනෙ.මහන්සියක් නැතුවම වගේ අපි බොහොම අපූරුවට හාත්පස පෙනෙන මේ පුංචි මුදුනට වෙලා ජයේගෙන් මේ තැන හා බැඳිච්ච පුරාවෘත්තය අහගත්ත.









මුදුනට හාත්පස පේන හැටි


කතාව මෙහෙමයි.ඩබ්ලියු ඒ සිල්වා මහත්තයගෙ විජයබා කොල්ලය පොත ගැන හුඟක් දෙනා අහල ඇතිනෙ.ඒකෙ කියවෙනව වගේම ක්‍රි.ව. 1521දි විජයබා කොල්ලය සිද්ධ වෙනව.හත්වන විජයබාහු රජ්ජුරුවො යටතෙ තිබ්බ කෝට්ටෙ රාජ්‍යය කෑලි තුනකට කැඩිල යනව.මෙයින් රයිගම පාලනය බාරවෙන්නෙ රයිගම් බණ්ඩාරට.පස්සෙ කාලෙක මේ රාජ්‍ය තුන අතරත් බල අරගල ඇතිවෙනව.ඉතින් මෙහෙම ඇතිවෙන අභ්‍යන්තර යුද්ධෙකට පිටත් වෙන්න කලින් රයිගම් බණ්ඩාර රජ්ජුරුවො තම දේවින්නාන්සෙට දැනුම් දෙනව තමන් ආපහු ඒම විස්වාස නැති වීත්තිය.සටන සිද්ධ වෙන්නෙ පස්දුන් කෝරලේ.ඒ කියන්නෙ කලු ගඟෙන් එපිටහ.තමන් යුද්ධෙන් දිනුවොත් පස්දුන් කෝරලේ පර්වතයක ඉඳන් ඒ බව මේ පර්වතය මුදුනෙ ඉන්න දේවියට සහ පිරිසට දන්වන්න කතිකා කරගන්නව.කොහොමින් කොහොමින් හරි සටන අවසානයෙ රයිගම් බණ්ඩාර රජ්ජුරුවො සටන දිනනව.කතාවුනු විදියටම පස්දුන් කෝරලේ පර්වතයට නැගගන්න රජ්ජුරුවො පණිවිඩේ දන්වන්නෙ වැරදියට.ඒ තමන් සටනින් පැරදුනු බව අඟවමින්.ඔහු මෙහෙම කරන්නෙ තමන්ගෙ දේවිය සහ පිරිස තමන්ගෙ වියෝවට ප්‍රතිචාර දක්වන්නෙ කොහොමද කියල දැනගනීමේ කුහුලෙන් යුතුව.ඒත් වැඩේ බරපතලකම තේරෙන්නෙ ඔහු ආපහු තමන්ගෙ රාජ්‍යයට ආවමයි.තමන්ගෙ පණිවිඩේ ඇත්තය කියල හිතපු තමන්ගේ දේවිය මේ පර්වතයෙන් පහලට පැනල දිවිතොරකරගත් බව දැනගන්න රජ්ජුරුවො තමන් අතින් උනු වරදට නොසෑහෙන්න කම්පා වෙනව.අන්තිමේදි රජ්ජුරුවොත් මෙතනින් පැනල ජීවිතෙ නැති කරගන්න බව තමා පුරාවෘත්තයෙ කියවෙන්නෙ.ඒ නිසා මේ පර්වතය  "කුමරි පැන්න ගල " උනා කියල තමයි දැනගන්න තියෙන්නෙ.රජ්ජුරුවො පැනපු නිසා කුමරු පැන්න ගල කියලත් ව්‍යවහාරයෙ යෙදෙනවලු.පර්වතය එතරම්ම උස නොවුනත් පාරෙ වංගුව ආසන්නයෙ තියෙන අන්තය තරමක සෘජු බෑවුමකින් යුක්තයි.ඒ නිසා ඔහොම දෙයක් ඇත්ත වීමේ ලොකු ඉඩක් නං තියෙන්න පුලුවන්.කොහොම වෙතත් ගමන ගිහින් ආවට පස්සෙ තමා මතක් වුනේ අර අනික් පර්වතය තිබ්බ දිහාව බලාගන්න අමතක උනු බව.පර්වතය උඩ මෑතක ඉදිවුන බුදුපිළිම වහන්සේ නමක් වගේම මල් ආසනයක් වගේම ඝණ්ටාරෙකුත් දකින්න පුලුවන්.වෙසක් පෝය කාලෙට ගමේම කට්ටිය එකතු වෙලා මේ පර්වතය සිරීපාදෙ අනුරුවක් විදියට හැඩගස්සනවලු.ඒ කාලෙට නං හුඟ දෙනා මෙතැනට එකතු වෙන බව තමා ජයේ කිව්වෙ.


වැවත් නිම්නයත් මුදුනට පේන හැටි





හාත්පස සුන්දරත්වය


මේ පර්වත මුදුනෙ තියෙනව තරමක පොකුණක්.හුඟක් වෙලාවට නියං සමයෙදිවත් දිය නොසිඳෙන මේ පොකුණ හා බැඳුනු විස්තරත් එමටයි.පර්වතය පහල ගම දිහාවට ඇවිදන් යද්දි හම්බෙන තැනක් තමා ආඳා දොල.මේ පොකුනත් ආඳා දොලත් යටින් සම්බන්ධ බව කියවෙනව.පොකුණ යට සැඟවුනු නිධානයක් ගැන හාහූත් නැතුවාම නෙවෙයි.මේක රකින්න ඉන්න රත්තරං කඩුක්කමක් දාගත්තු ආඳෙක් නිසා පල්ලෙහ දොල ආඳා දොල වුනා කියල තමයි කියන්නෙ.කෙම්මුර දවස්වලට සමහර කාලෙට මතුවෙන රන් සෙම්බුවක් පොකුනෙ ඉඳන් දොල දිහාවට ගමන් කරන බවත් කියවෙනව.මේ හා සමාන ජනශ්‍රැති අපිට හුඟක් තැන්වල අහන්න ලැබුනත් මේ වගේ පුරවෘත්තවලින් අපේ හිත්වල බය මුසු ගෞරවයක් ඒ තැන කෙරේ ඇති වෙන්නෙ නිරායාසයෙන්මයි.





මුදුනට පේන බස් පාර
















මුදුනට හොරණ කලුතර පාර අපූරුවට දිස්වෙනව.එක් පසෙකින් රෙමුණ වැවත් ලස්සනට දැකගන්න පුලුවන්.මේ පුංචි කඳු මුදුනත් ලඟම තිබ්බ තවත් මුදුන් වැටියකුත් අතර තියෙන නිම්න භූමිය වැවෙන් ලැබෙන දියවරෙන් පෝෂණය වෙමින් ගොයමෙ නිල්ලෙන් වැහිලයි තියෙන්නෙ.ඒක නං හරිම සිත් අළවන සුලු දර්ශනයක්.

සෑහෙන වෙලාවක් මුදුනෙ ගත කරපු අපි නාගන්න දහසින් ආඳා දොල දිහාවට පල්ලම් බැස්ස.ඉරිද දවස නිසා එතැන නම් පිරිලයි තිබ්බෙ.කොහොමහරි නාගන්න අදහසින් අපි වැව දිහාට ගියත් එතනත් ඒ සෙතේම තමා.අන්තිමේ නාන එක පැත්තක තියල අපි ආපහු ජයේලගෙ ගෙදර දිහාවට හැරුන.කලින් කියපු ගොයමෙන් වැහුනු නිම්නය හරහා තමා පාරට එන්න තිබ්බෙ.කඩේකින් ගත්ත අයිස් පැකටුත් කකා ගම හරහ ඇවිදන් ආපු ගමනත් හරි අපූරු අත්දැකීමක් වුනා.කොහොමහරි දවල් එක විතර වෙනකොට අපි ආපහු හොරණ බලා එන්න පිටත් වුනා.











ආපහු එන ගමනෙදි දැකපු අය



















අපේ මිත්‍රය ජයේ


ගමන ගැන මතක් කරනවනම් ඒ ගැන කියන්න තියෙන විශේෂම දේ තමා ගමන් යන්න තමන්ට වෙලාව මදියි කියන අයට හොඳම විසඳුමක් වෙන මේ විදිහෙ පුංචි ගමන්.කොළඹ අවට පැයක් දෙකක් ඇතුලත ලඟාවෙන්න පුලුවන් මේ වගේ තැන් බොහෝමයි.මේ වගේ තැන් පිලිබඳව හුඟ දෙනා දන්නව වුනත් මේ වගේ තැනකින් තමන් බලාපොරොත්තු වෙන දේ හොයාගන්න නොදන්නාකම තමා වැඩි දෙනාට තියෙන ප්‍රශ්නෙ.කොහොම වෙතත් මේ ගමනෙ සම්පූර්ණ ගෞරවය හිමිවෙන්නෙ ජයේට.අපිට පාර පෙන්නල අපිට සංග්‍රහ කරන්න ජයේගෙ අම්මයි තාත්තයිත් හුඟක් මහන්සි උනා.

ඉතින් දවස එතනින් ඉවර වුනේ නෑ.අපේ පුංචි සවාරියට තවත් ගමනාන්තයක් තිබ්බ.ඒ ගමනාන්තයට යන්න අපි හැමෝම ජයේගෙ වාහනේට ගොඩවුනා.

තවත් ලිපියකින් අපි ඒ ගමනෙ විස්තරත් එක්කල හම්බ වෙමු




Related Posts Plugin for WordPress, Blogger...