Sunday, May 1, 2011

රෝස පාට මල් ගස් නමය

අහසට අවුරුද්ද කියල ගානක් වත් තිබ්බෙ නෑ.දවසෙම වැස්සය කෑමයි විතරමයි මතක.මිනිස්සු දුවනව දුවනව හරියට ලෝක විනාසෙට කලිං එන අවුරුද්ද වගේ,කටිං කරිං බඩු එල්ලං.මං නටනව කැරකෙනව,ඒ රේස් එක මැද්දෙ.පොඩි ඈයොන්ට හරිම විනෝදෙ මාව.වැඩිපුර පන්සීයක් දෙනව කිව්වට මොකද පොඩි එව්වො එක්ක නටල හොඳටෝම හති.ඔය අව් අස්සෙ තමා එයා දරුවෙකුත් වඩාගෙන ආවෙ.
"මේ පුතේ....බනී......ෂෝයි බනී පැට්ට නේ...."
පුංචි එකා ඉවරයක් නැතුව කනකින් අදිනවද කොහෙද.
"ඩාලිං ..ටේක් අ පික් හනී....."
එයා මගෙ උරහිසට උඩින් අත යැව්ව කියල දැක්ක විතරයි.මෙලෝ සංසාරයක් දැනෙන එකක්යැ.හිත බයේ ගැහි ගැහි ආපස්සට දුවං දුවං ගියා.එයයි මහත්තයයි බබයිත් ගියා ඇතුලට.
         ඉස්සර එයා කෝච්චියෙන් බැහැල දුවං එනකං බලං හිටපු හැටි,නුවර ස්ටේසම ඉස්සරහ පැත්තෙන්.ඒ දවස්වල ඒ ගස්වල මල් පිපෙනව.පේලියට ගස් නමයක් තිබ්බ.නමයම රෝස පාට මල් පොරෝනාවකින් වැහිල තිබ්බ.පේමන්ට් එකෙත් මල් කාපට් එක.එකම ගහක් තිබ්බ වෙන ජාතියක,මල් පිපුනෙත් නැති.ගස් පේලියෙන් මල් වැටෙනව නොනවත්වා.හැම මොහොතෙම මලක් වැටෙමින් තිබ්බ.එයා ආවා ඒ ඇතිරිල්ල දිගේ මං දිහාවට.හැබැයි ඒ සති දෙකක් විතරයි.මං එයාගෙ පස්සෙං අවුරුදු තුනක් ගියා.
    අපි දුප්පත්.එයාලට මහ ගොඩක් සල්ලි නොතිබ්බට පෙළපත් වංසක්කාරයො.හැමදාම කඩුගන්නාවට හවස කෝච්චියෙ පස්සෙං ගිහිං බලගොල්ලට එද්දි රෑ වෙනව.ඇයි දන් නෑ.....එයාට දුක හිතිලද මන්ද මාත් එක්ක යාලු උනේ.පස්සෙං ගියේ මට කාලෙ ගෙවන්න අරමුණක් නොතිබ්බ හින්ද.ඇරත් ඒ අරමුණ හරියාවි කියන අරමුණෙන් නං නෙවි.මම එක පාරක් වත් එයාගෙන් ඇහුවෙ නෑ.දවසක් ස්ටේසං එකේ වේටිං රූම් එකෙං එලියට ඇවිත් , "මං ඔයාට කැමතියි" කිව්ව.මට කරන්නවත් කියන්නවත් දෙයක් ඉතුරු උන් නෑ.
                ඒ සති දෙක හරිම කොටයි.පස්සෙං ගිය අවුරුදු තුන පුදුම දිගයි.අවුරුදු තුන සති දෙකට වඩා කොහොමත් දිගයිනෙ.සිකුරාද දවසකම  තමා එයා අපි මේ විකාරෙ නවත්තමු කිව්වෙ.විකාර විදියකට පටන් අරං එයාමයි නැවැත්තුවෙ.බැඳීම් හදන්නෙත් කඩන්නෙත් දෙකම එයාල.නඩුත් ගෑනුන්ගෙ.බඩුත් ගෑනුන්ගෙ.ඊට පස්සෙ  ඒ ලෙවල් කරා.අන්තිම දවසෙන් පස්සෙ එයාව දැක්කෙම නෑ.
              ලිස්සල අරින ෆෝන් එකකින් තමා ෆොටෝ එක ගත්තෙ.දැං කොයි වෙලේ හරි එයි.දීපා මාව අඳුරගයිද....?නට නට හිටපු මං ඒ පාර හැංගිමුත්තං පටන් ගත්ත.කඩේ උං කියාපි කස්ටමර්ලට පස්ස හරවන්න එපාලු.ඒත් එයා මාව අඳුරගත්තොත්....?පැය දෙකක් විතර ගියා.දීපයි මහත්තයයි බබයි ආවෙ නෑ.මාව අඳුරන්නෙ කොහොමද හත්තිලව්වෙ මම බනී නෙව.හුඟක් විට පස්සෙ එන්ට්‍රරන්ස් එකෙන් යන්ඩැති.
                  ඉක්මනටම හවස් උනා.අහසෙ ඇඬියාව එහෙම්මමයි.පන්සීය කොලේ අතට අරන් ඔලුබක්ක ගලවල මං මාරු.පොඩි උං දෙන්නට නිලා කූරු පැකට් එකක් අරන් වත්තෙගම බස් එකක එල්ලුනා.වාඩි උනා විතරයි.
                  මං බනී ඔලුබක්කා නට නට හිටිය.නිල්මිණි පොඩිම එකාව වඩං මගෙ කනෙං ඇද ඇද හිටිය.ලොකු එකා බංකුවකට නැගල අනිත් කන ඇදං හිටිය.බිම නම දන්නැති රෝස පාට මල් විසිරිල තිබ්බ.
    "මහයියාව බහින්ඩ........"
    කොන්දගෙ මොරේට ගැස්සිල ඇහැරෙනකොට යාන්තං කුණුකෙල බිංදුවක් කට කොනේ මෝදු වෙන්ඩ පටන් අරං තිබ්බ විතරයි.

3 comments:

  1. maxxaa...appreciate the amazing work...
    muli

    ReplyDelete
  2. හීනියට ඔලුව අත ගාලා ඇනපු ටොක්කක් වගේ මට නම් තේරුනේ..... කොහොම වුනත් සිරා ටෝක් එක.... දිගටම කරගෙන පලයන් මල්ලී...!!!!

    ReplyDelete
  3. මේ තේමාවෙන්ම ලියවුණු තව කතා කලින් කියවලා තියෙනවා. නමුත් ඔබේ කතාවෙ ඊට වඩා බොහොම ජීවමය ගතියක් තියෙනවා. පුංච් පුංචි විස්තර නිසා, කතාව හිතේ පහසුවෙන් ඇඳෙනවා; ඒ තුළ ජීවත් වෙන්නට කියවන්නාට ආරාධනා කරනවා. අපූරුයි.

    ReplyDelete

නොතිත් සිතඹර අරා...

Related Posts Plugin for WordPress, Blogger...